Features Sports

ලෝක කුසලානයට තරග වදින අපේ ක්‍රීඩකයෝ

සිංහ ධජය රැගත් අපේ ක්‍රිකට් කණ්ඩායම මැයි 7වැනිදා එංගලන්තය බලා පිටත්ව ගියේ ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ යම් යම් අපේක්ෂාවන් සහිතවය. ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සංවිධානය කරන සීමිත ඕවර 50 හෝ 20-20 වැනි ජාත්‍යන්තර තරගාවලියන්හි අප කණ්ඩායම කවදත් දක්ෂතා පෙන්වා ඇත.

තරගාවලියට ඉදිරිපත්වන ප්‍රබලම කණ්ඩායමකට (ෆේවරිට්ස්) වඩා වැඩිය තැකීමක් නොකරන කණ්ඩායමක් (අන්ඩර් ඩෝග්ස්) ලෙස තරගාවලියට ඉදිරිපත්වීම වඩා වාසිදායක යැයි බොහෝ පිරිසකගේ මතයකි. ලංකා කණ්ඩායම ජුනි 1වැනිදා නවසීලන්තය සමග තරගකර එතැන් සිට ජූලි හය තෙක් සෙසු රටවල් නවයම සමග තරගවදී.2019 ලෝක කුසලාන තරගාවලිය මැයි 30 සිට ජූලි 14 දක්වා එංගලන්තයේදී පැවැත්වීමට දැනටමත් සියළු විධි විධාන යොදා අවසානය.

 

2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ලංකා කණ්ඩායම පහත දැක්වේ.

1.දිමුත් කරුණාරත්න (නායක)

අවුරුදු 31යි. 1988 අප්‍රේල් 21 උපත ලැබීය. පසුගිය දිනවල ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රෙය් වඩාත්ම කතබහට ළක්වූ ක්‍රීඩකයාය.මීට මාස දෙකකට පෙර ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරයේදී ද නායකත්වයට ප්‍රථමවරට පත්ව තරගදෙකම ජයග්‍රහණය කළේය.2015 ලෝක කුසලානයට පසු එක්දින තරගයකට සහභාගි නොවුවත් ජ්‍යෙෂ්ටයන් පවා සිටියදී එක්දින නායකත්වයට තෝරා ගැනිණි. මරදාන සාන්ත ජෝශප් විදුහල හා එස්.එස්.සී.සමාජයෙන් ලංකා පිලට ඇතුලුවිය. ටෙස්ට් ඉනිම 117කදී ශතක අටක් අර්ධ ශතක 22ක් සමග ලකුණු 4074ක්ද එක්දින ඉනිම 13කදී ලකුණු 190ක් ද ලබා ඇත.

2.ඇන්ජලෝ මැතිව්ස්

සුරතල් නාමයට කවුරුත් අමතන්නේ “ඇන්ජි” නමිනි. අවුරුදු 32යි. 1987 ජුනි 2වැනිදා උපත ලැබීය. දිමුත් මෙන්ම ශාන්ත ජෝශප් විදුහලේ අධ්‍යාපනය ලැබීය.කේල්ට්ස් සමාජය නියෝජනය කළේය. ටෙස්ට් ලකුණු පන්දහස සහ එක්දින ලකුණු පන්දහස ඉක්මවු ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩකයාය.ලංකා කණ්ඩායමේ හිටපු නායකයාය. ටෙස්ට් ඉනිම් 144කදී ශතක නවයක් අර්ධ ශතක 33ක් සමග ලකුණු 5554ක් ද එක්දින තරග 203කදී ශතක දෙකක් හා අර්ධ ශතක 37ක් සමග ලකුණු 5380ක්ද ලබා සිටී.

3.ලසිත් මාලිංග

අවුරුදු 35 යි. 1983 අගෝස්තු 28 වැනිදා උපත ලැබීය.ගාල්ලේ රත්ගම දී මූලික අධ්‍යාපනය ලබා පසුව ක්‍රිකට් ආයතනයේ වේගපන්දු යවන්නන් සෙවීමේ දීපව්‍යාප්ත වැඩසටහනෙන් ඉදිරියට පැමිණියේය.2014 ලෝක කුසලාන 20-20 තරගාවලියේ සූරතාව දිනූ ලංකා පිලට නායකත්වය දුන්නේය. ටෙස්ට් කඩුලු 101ක් එක්දින කඩුලු 322ක් 20-20 කඩුලු 97ක් ලබා සිටී.

4.කුසල් ජනිත් පෙරේරා

අවුරුදු 29යි. 1990 අගෝස්තු 17 වැනිදා පන්නිපිටියේදී උපත ලැබීය.පන්නිපිටිය ධර්මපාල කණිෂ්ට, කොළඹ රාජකීය කෝල්ට්ස් කණ්ඩායම් නියෝජනය කර ලංකා පිලට ඇතුලුවිය. වමතින් පන්දුවට පහරදෙන එක්දින හා ටෙස්ට් තරග දෙකේම දස්කම්පාන තරග ප්‍රතිඵලයක් වෙනස් කළ හැකි වේගයෙන් ලකුණු ලබන කඩුලු රැකීමේද දක්ෂයෙකි. එක්දින තරග 88කදි ශතක හතරක් අර්ධ ශතක 11 සමග ලකුණු 2283ක් ලබා සිටී. නිතර අබාධයන්ට ලක්විය.

4.ළහිරු තිරිමාන්න

අවුරුදු 30යි.1989 අගෝස්තු 9වැනිදා උපත ලැබීය.වමත් ආරම්භක පිතිකරුවෙකි.මොරටුව වේල්ස්කුමාර සහ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කර ලංකා පිලට ඇතුලුවිය. එක්දින තරග 117කදී ලකුණු 2946ක් ලබා සිටින්නේ ශතක හතරක් හා අර්ධ ශතක 20ක් සමගිනි.ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ හොද ආරම්භයක් ගත්තත් 2017 අසාර්ථකවීමෙන් පසු කළක් පිටියෙන් ඈත්ව සිටියේය. පසුගිය අන්තර් පළාත් හා ලංකා ඒ කණ්ඩායම්වල දක්ෂතා පෙන්වා ලංකා පිලට නැවත එක්විය.

6.අවිශ්ක ප්‍රනාන්දු

අවුරුදු 21යි 1998 අප්‍රේල් 5 වැනිදා උපත ලද අවිශ්ක ප්‍රනාන්දු ලංකා කණ්ඩායමේ බාලම ක්‍රීඩකයකයාය.වසර දෙකකට පෙර ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උප නායකත්වය දරමින් එංගලන්ත සංචාරයේ පිට පිටම ශතක දෙකක් ලබා තරග 3-0කින් එක්දින තරග ජයගත් සංචාරයේ ඉනිමක සාමාන්‍ය ලකුණු 95ක් ලැබීය. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.

7.ජීවන් මෙන්ඩිස්

36 හැවිරිදි ජීවන් මෙන්ඩිස් ලංකා කණ්ඩායමේ වැඩිමහල්ම ක්‍රීඩකයාය.1983 ජනවාරි 15 උපත ලැබීය. අසෝක කණිෂ්ට හා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් නියෝජනය කළේය. 2012 වසරේ 20-20 හා 2015 ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගිවිය. එක්දින තරග 54ක ඉනිමක සාමාන්‍ය ලකුණු 20ක් ලබා ඇත.

8.ධනංජය ද සිල්වා

අවුරුදු 27යි.1997 සැප්තැම්බර් හයවැනිදා උපත ලැබීය. ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස පසුව බදුරලිය සහ රාගම ක්‍රීඩා සමාජ නියෝජනය කළේය. දකුණතින් පිත්ත හසුරුවන දකුණතින් පිට දග පන්දු යවන ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් වැඩිපුරම බලාපොරොත්තු තබා ඇත්තේ මොහු කෙරෙහිය. එක්දින ඉනිමකදී කඩුලු 15ක් ලබා ඇත. ටෙස්ට් ඉනිම 25 කදී ශතක හතරක් අර්ධ ශතක පහක් සමග ලකුණු 1495ක් ලබා ඇත. ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩකයාය.

9.තිසර පෙරේරා

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය මීට කළින් දරා තිබේ. මැද අග පෙළ වමතින් වේගයෙන් පන්දුවට පහර දෙන දකුණතින් වේගපන්දු යවන තුන් ඉරියව්වේම දස්කම්පාන ක්‍රීඩකයෙකි.ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් දක්ෂතම ක්‍රීඩකයන් දෙදෛනාගෙන් කෙනෙකි.

වත්තල සාන්ත අන්තෝනි හා මරදාන ශාන්ත ජෝශප් කණ්ඩායම් නියෝජනය කර ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා 19න් පහළ ඉන්දීය ප්‍රිමියර් ලීග් කෝල්ට්ස් නියෝජනය කළේය.1989 අප්‍රේල් 3 උපත ලැබීය. එක්දින තරග 153කදී (ඉනිම 144) කඩුලු 109ක් හා ලකුණු 2147 ක්ද (ශතයයි අර්ධ ශතක 10යි) ලබා ඇත.

10.සුරංග ලක්මාල්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්ය දරා ඇත. 1987 මාර්තු 10 වැනිදා උපත ලැබීය. දෙබරවැව විදුහල රිච්මන්ඩ් නියෝජනය කර ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට සම්බන්ධවිය. ටෙස්ට් තරග 57කදී (ඉනිම 90යි) ලකුණු 740ක්ද කඩුලු 137ක්ද ලබා ඇත. එක්දින තරග 81කදී කඩුලු 105ක් ලැබීය.

11.කුසල් මෙන්ඩිස්

දකුණතින් පිත්ත හසුරුවන කණ්ඩායම් අංක 3 හෝ 4 ස්ථානවල පන්දුවට පහරදෙන මහත් බලාපොරොත්තු තබා සිටින තරුණ ක්‍රීඩකයෙකි. මොරටුව වේල්ස් කුමාර හා බ්ලුම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළේය. කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද ක්‍රියා කරයි.

1995 පෙබරවාරි 2 වැනිදා උපත ලැබීය. ටෙස්ට් ඉනිම 75කදී ලකුණු 2639ක්ද (ශතක 6යි අර්ධ ශතක 9යි) එක්දින තරග 62කට ද සහභාගිවී ඇත. 2014 තරුණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය.

12.ඉසුරු උදාන

තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩකයන් අතුරින් මෑතකදී විශේෂ දක්ෂතා පෙන්වු ක්‍රීඩකයෙකි. කොළඹ ඩි.එස්.සේනානායක විදුහල හා එන්.සී.සී.කණ්ඩායම් නියෝජනය කළේය.

1988 පෙබරවාරි 17 වැනිදා උපත ලැබීය. එක්දින ඉනිම තුනකදී ලකුණු 110ක් ලබා සිටින්නේ ලකුණු 55ක සාමාන්‍ය ප්‍රමාණයක් ඇතිවය. විවිධාකාරයෙන් පන්දු යැවීමට සමතෙකි.

13.නුවන් ප්‍රදීප්

1986 ඔක්තෝම්බර් 10වැනිදා උපත ලද නුවන් ප්‍රදීප් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවූයේ අවුරුදු 20දීය.තෙවන වේගපන්දු යවන්නා ලෙස යෝකර් පන්දු යවයි.බ්ලුම් ෆීල්ඩ්, බී.ආර්.සී.කණ්ඩායම් නියෝජනය කළේය.ටෙස්ට් තරග 28කදී කඩුලු 70ක්ද එක්දින තරග 38කදී කඩුලු 34ක්ද දවා ඇත.

14.මිලින්ද සිරිවර්ධන

තුන්ඉරිය‍ව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. 1985 දෙසැම්බර් 4 උපත ලැබීය. ටෙස්ට් ඉනිම නවයකදී ලකුණු 298ක්ද කඩුලු 11ක්ද ලබා ඇත. එක්දින ලකුණු 513ක් හා කඩුලු නවයක් ලබා සිටී.

15.ජෙෆ්රි වැන්ඩසේ

තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.1990 පෙබරවාරි 5 උපත ලැබීය.එක්දින ඉනිම හතකදී ලකුණු 71ක්ද කඩුලු හයක්ද ලබා ඇත. 20-20 තරග 10කදී කඩුලු හයක් ලබා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *